Broadband තාක්ෂණයන් හදුනාගනිමු 1

Broadband යන වචයන ඇසූ පමණින් ඔබේ සිහියට නැගෙනුයේ ඔබගේ අන්තර්ජාල සබඳතාවයයි. නමුත් අන්තර්ජාල සබඳතාවයක් යනු broadband තාක්ෂණයේ එක් ප්‍රායෝගික භාවිතයක් පමණි. අද වනවිට ලොව පුරා විශාල වශයෙන් පරිගනක සහ විවිව්ධ ඉලෙක්ට්‍රොනික උපාංග ව්‍යාප්ත වී ඇති අතර එම උපකරණ අතර අන්තර් සබඳතාවයක් පවත්වාගැනීමට විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරනු ලැබේ. Broadband යනු එවන් තාක්ෂණික ක්‍රමවේදයකි.

Broadband තාක්ෂණයේ ක්‍රියාකාරීත්වය,ප්‍රායෝගික භාවිත සහ විවිධ broadband internet සබඳතා පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් විමසා බලමු.



Broadband යනු කුමක්ද?


Broadband යන වචනයෙන් අර්ථවත් වන්නේ “පුළුල් කළාපයක්” යන්නයි. එනම් මෙම තාක්ෂණය මගින් එක් දත්ත සන්නිවේදන මාධ්‍‍යක් තුල පුළුල් කළාපයක් (band) ඔස්සේ දත්ත සන්නිවේදනය කරනු ලබයි. විවිධ සංඛ්යාත පරාසයන්ගෙන් යුත් විද්‍යුත් තරංග එකිනෙක මිශ්‍ර නොවී එකම සන්නිවේදන මාධ්‍යයක් ඔස්සේ සන්නිවේදනය කිරීම broadband තාක්ෂණය ලෙස සරළව හඳුන්වාදිය හැක. මෙහිදී විවිධ සංඛ්යාත පරාසයන්ගෙන් යුත් දත්ත පථ (data channels) කිහිපයක් භාවිතා කරන අතර එක් පථයක් ඔස්සේ ගමන් කරන තරංගයක් එම මාධ්‍යයේම වෙනත් පථයක් ඔස්සේ ගමන් කරන තරංගයක් සමග මිශ්‍ර නොවේ. සම-අක්ෂක රැහැන් (coaxial cable), ඇඹරුනූ කම්බි යුගල (twisted pair cable), ප්‍රකාශ තන්තු (fiber optic cables) මෙන්ම රැහැන් රහිත විද්‍යුත් චුම්භක තරංග මාද්‍යයක් ඔස්සේ වුවද මෙම ක්‍රමයට දත්ත සන්නිවේදනය කලහැක.

ඔබගේ නිවසට දුරකතන සබඳතාවය, රූපවාහිනී සබඳතාවය සහ අන්තර්ජාල සබඳතාවය වැනි විවිධ සබඳතා කිහිපයක්ම එකම රැහැනක් ඔස්සේ එකවර ලබාගතහැකි වන්නේ මෙම broadband තාක්ෂණයේ බල මහිමයෙනි.



දත්ත සන්නිවේදන වේගය


විශේෂයෙන් අන්තර්ජාල සබඳතා පිළිබඳව කතා කිරීමේදී දත්ත සන්නිවේදන වේගය අනිවාර්‍යයෙන්ම සැලකිය යුතු කරුණකි. ඕනෑම අන්තර්ජාල සේවා සපයන ආයතනයක (Internet Service Provider / ISP) වෙළඳ දැන්වීමක් හෝ වෙනත් ප්‍රචාරන කටයුත්තකදී ඔවුන් ලබාදෙන සබඳතාවයේ වේගය පිළිබඳව සඳහන් කරයි. නමුත් බොහෝ පරිශීලකයින්ට ඇති ගැටළුව වන්නේ ඔවුන් එම සබඳතාවය මිලදී ගත් පසු දැන්වීමේ තිබූ වේගය ඔවුන්ට සැබවින්ම නොලැබීමයි. මෙම ගැටළුව ඇතිවන බොහෝ අවථාවන් වලදී සැබවින්ම අදාල සමාගම සතුව කිසිදු වැරැද්දක් නොමැති අතර ගැටළුව ඇත්තේ පරිශීලකයා වෙළඳ දැන්වීම නිසි ලෙස තේරුම් නොගැනීම තුලයි.


Bits සහ Bytes හඳුනාගනිමු


 1 Byte = 8 bits

පරිගනක තුල දත්ත වල විශාලතවය මැනීම සඳහා සම්මත ඒකකය ලෙස “Byte” භාවිතා කරයි මෙය කැපිටල් B අක්ෂරයෙන් සංකේතවත් කරනු ලැබේ. Byte 1024ක් එක් වීමෙන් Kilobyte එකක් (KB) සෑදෙන අතර KB 1024ක් එක් වීමෙන් Megabyte (MB) එකක් සෑදේ. මෙය සරළ පරිගනක දැනුමක් ඇති ඕනෑම පුද්ගලයෙක් හොඳින් දන්නා කරුණකි.

නමුත් බොහෝ විට ඔබ නොදන්නා කරුණ වන්නේ දත්ත සන්නිවේදන වේගය මැනීමට යොදාගන්නා සම්මත ඒකකය Byte නොව bit යන්නයි. bit එකක් යනු Byte එකකින් අටෙන් පංගුවකි. එනම් එක් Byte එකක් සෑදීමට bit අටක් අවශ්‍ය වේ. Megabyte එකක් යනු Megabit 8 කි. bit එකක් ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් b අක්ෂරයෙන් නිරූපණය කරනු ලබයි.

ඔබේ අන්තර්ජාල සේවා සපයන ආයතනය (ISP) විසින් ඔබට ප්‍රකාශ කරනු ලබන වේගය සඳහන් වන්නේ මෙම bit වලිනි. එනම් ඔබේ අන්තර්ජාල සබඳතාවය 1Mbps නම් එයින් අදහස් වන්නේ තත්පරයකට “Megabit” එකක වේගයක් ඇති බවයි. මෙම සබඳතාවය තුලින් 1 Megabyte දත්ත ගොනුවක් භාගත කිරීමට ඔබට තත්පර 8ක කාලයක් ගතවේ.    

මෙම bit වලින් සඳහන් වන වේගය Byte ලෙස වරදවා වටහාගැනීම බොහෝ පාරිභෝගිකයින් විසින් සිදුකරන අතපසු කිරීමක වන අතර bit සහ Byte අතර වෙනස නිසි ලෙස හඳුනාගැනීමෙන් මෙම ගැටළුව සාර්ථකව නිරාකරණය කරගතහැක.



Latency හෙවත් ගුප්තතාවය


ඔබ broadband සබඳතාවයක් මිලදී ගැනීමේදී බොහෝවිට සැලකිලිමත් වන්නේ එහි වේගය ගැන පමණි. නමුත් ගුප්තතාවය හෙවත් Latency යනු ඔබේ broadband සබඳතාවයේ සලකා බැලියයුතු තවත් ඉතා වැදගත් ගුනාංගයකි.

ඔබ broadband සබඳතාවය ඔස්සේ යම්කිසි පණිවිඩයක් (signal) යැවූ විට එය ග්‍රාහක අග්‍රය වෙත ප්‍රවේශ වීමට ගතවන කාලය latency ලෙස හඳූන්වයි. ජාලය ඔස්සේ තත්කාලීන සන්නිවේදනයන් (real-time communication) සිදුකිරීමේදී මෙම ගුප්තතාවය (latency) ඉතමත වැදගත් වන අතර සාමාන්‍යයෙන් හොඳ තත්වයේ real-time connection එකක් පවත්වාගැනීම සඳහා ඔබේ සබඳතාවයෙ latency අගය මිලි තත්පර 250ක් පමණ (250ms) හෝ ඊට අඩු විය යුතුය.

ඔබේ සබඳතාවයේ latency අගය මිලි තත්පර 500ක් පමණ හෝ ඊට වඩා විශාල අගයක් ගන්නේ නම් එය කිසිසේත්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දුරකතන සංවාද වැනි කටයුතු සඳහා සුදුසු නොවේ. ඔබ නිතර skype හෝ වෙනත් එවැනි දුරකතන, video call සේවාවන් භාවිතා කරන අයෙක් නම් ඉතා අඩු latency අගයකින් යුත් broadband සබඳතාවයක් මිලදී ගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතුය.

මේ පිලිබඳ තවත්' තොරතුරු ඉදිරි ලිපියකින්....
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment